"කළුම කළු පාට වෙච්ච වැහි වළාකුළු වලින් එක දිගට දොබ ගෙඩි වගේ වැහි බිංදු වැටෙන්න පටන් අරගෙන. කුස්සියේ ජනේලය ළගටම වෙලා වැහි වතුර දිහා බලාගෙන ඉන්න හිත වැහි බිංදුත් එක්ක අත් වැල් බැදගෙනම ලස්සන අතීතෙකට ගොඩවුණා.ඉර සෞම්්ය විදියට පායලා තියනවා. කුස්සියේ බස්නාහිර පැත්තට තියන බිත්තියෙන් බාගයක්ම වැහිලා තියෙන්නෙ ඝනකම් ලීයෙන් කොටු කොටු හිටින්න හදාපු ලී රාමුවකින්. රත්තරන් පාටට එන ඉර එළිය ඒ ලී රාමුවෙ කොටු අස්සෙන් පෙරිලා ඇවිත් තීරු තීරු වෙන්න කුස්සියෙ මේසෙ උඩට වැටෙනවා. ඉර එලියෙ තීරු දිගේ පොඩි පොඩි දුවිලි කෑලි එහෙ මෙහෙ විසිරෙනවා. ඉර තීරුව මැද්දෙන් අල්ල තියල මම හදන්නෙ ඒ දුවිලි කෑලි අල්ලන්න. උණු වතුර බෝතලෙත් උස්සගෙන තේ හදන්න හදන ලොකු අක්කා පිටිපස්ස හැරිල මා දිහා බලනකොට එයාවත් පහු කරන් ගිහින් මම කුස්සියෙ දොරෙන් එලියට බහිනවා. කුස්සිය ලගම තියන පොඩි පස් කන්දෙ වාඩි වෙලා ඉර එලිය බලන් ඉන්නවා. ඉර එලිය තීරු තීරු වැටෙන්නෙ නැති වුනත් ගිනි බෝලයක් වගේ ඉර බැහැගෙන යනවා මට පේනවා. හිතේ බරක් නැතුවම ඉරත් එක්ක හිනා වෙවී ඉන්න මට ළග තිබුණු පුවක් ගහ දිගේ උඩට නගින කූඹි රංචුව පේනවා. කූඹි රංචුව උඩට යනවා දැක්ක ඇස් දෙක නවතින්නෙ පුවක් ගහේ කරටියේ. රතුයි කහයි සවු කොල අලවපු සරුංගලයක් පුංචියට එහාට මෙහාට පුවක් ගහේ කරටියට උඩින් ලෙලදෙනවා. ඉරත් අමත්කයි. කූඹිත් අමතකයි. සරුන්ගලේ විතරක් මතකයි. අක්කගෙ උස් කතා කෙරිල්ලට හැරිල බලනකොට තේ කොප්පෙ ලගටම ඇවිත්. දැං සරුන්ගලය මතක නැහැ. ආයෙමත් කූඹි ගැන හිතනවා. මේ කූඹි එන්නෙ කොහෙන්ද කියල හිත හිත තේ එක බොනවා. උගුරට දෙකට බිව්ව තේ කොප්පෙ පස් කන්ඩිය උඩින් තියලා කූඹි එන්නෙ කොහෙන්ද කියල හොයන්න කකුල් දෙක දුවනවා.
එක එකා මූණට මූණ තියලා රහස් කිය කිය දිග කූඹි පෝලිමක් හැදිලා. ඇස් දෙක පෝලිම දිගේම දිගට දිගට ඇදෙනවා. කූඹි පොළොව යටින් දිග ගුලක් හදාගෙන. ඒ ගුලට රිංගන කූබියෙක් දිහා බලාගෙනම ඇස් දෙක ලොකු වෙනවා. ඌ එක පාරටම පේන්නෙ නැති වුණා. තව ටික වෙලාවකින් ආයෙත් ඌ වෙන තැනකින් පේනවා. කූඹි ගුලේ සමහර තැන් විතරක් එළියට ඇරිලා. මේ පේන්නෙ කූඹි ගුලෙන් රිංගුව කූඹියමද ? ලොකු ප්රශ්නයක් හිතට එනවා.ඉරත් වැහිලා. වැහි වළාකුළු ඇවිල්ලා. තව ටිකකින් වහියි. කූඹි තෙමෙයි. හිතට ආයෙත් ප්රශ්නයක්. ඉක්මනට දර මැස්සට කර පොවලා බලනවා. පොඩි ලී කෑලි ටිකක් හොයාගන්නවා. කූඹි ගුල වැහෙන්න ඒ දිගට වහළයක් හදන්නයි යන්නෙ. ලී කුට්ටි කූබි ගුල දිගට දෙපැත්තෙන් පෝලිමට හිටවලා ඒවා උඩින් වහලේ වගෙ හිටින්න එක එක ලී කෑලි තියනවා. කූඹි ගුල වැහෙන්නම නැති වුනත් ටික දුරකට හරි වහලයක් හැදුනා. කුස්ස්සියට දුවලා ගිහින් සීනි බෝතලෙන් සීනි ටිකක් ගන්න අම්මා ටිකක් එහා මෙහා වෙනකල් හොරගල් අහුල අහුල බලන් ඉන්නවා. හදිසියට බෝතලේ මුඩිය ඇරෙන්නෙත් නැහැ. අමාරුවෙන් සීනි ටිකක් අරගෙන සතුටින් කූඹි ගුල ලගට දුවගෙන යනවා. බෝතලෙ මූඩිය වහන්න අමතක වෙනවා. කූඹි ගුල පටන් ගන්න තැනින් සීනි ටික තියලා බලන් ඉන්නවා. කූඹි සීනි කැටේ කැටේ අමරුවෙන් ගුල ඇතුලට අරන් යනවා. සීනි කැටේ අරන් යන කූඹියා සැරින් සැරේ ගුල අස්සෙන් පේනවා. පොද එක දෙක වැටෙනවා. හුළන් හමාගෙන යනවා. ඉරත් හැංගිලා ගිහින්. කවුරුහරි බනින්න කලින් ගෙට එනවා. කුස්සිය දොරින් ඇතුලට එනකොටම අම්මගේ ගෝරනාඩුවක් ඇහෙනවා. "සීනි බෝතලෙ ඇරල දැම්මෙ කවුද ? ඒකෙ කූඹි පිරිලා". මම සීනි ලගටම ගිහිල්ල දීලත් මේ කූඹි සීනි බෝතලෙත් හොයන් ඇවිත්. හිතට තරහකුත් එනවා.අතොරක් නැතුවම වහින වැස්සට එකතු වුනු වතුර කාමරේ ජනේලෙ ලගින් බලනකොට ලොකු ගගක් වගේ ගලාගෙන යනවා. ජනෙල් කූරු වල එල්ලීගෙන හිරිකඩ වැදෙන මූණ වැස්සටම අල්ලගෙන ඉන්නවා. "කොළයක් ගනිමූ..ඔරුවක් හදමූ.." ඉස්කෝලෙ පංතියෙදි ඉගෙන ගත්ත දේ කරන්න හොදම වෙලාව. හදපු ඔරුව ජනෙල් කූරු අස්සෙන් වතුරට වැටෙනවා. ටික දුරක් යනකොට ඔරුව දිය බත් වෙනවා. ටීච කියලා දුන්නු කතාවෙ නම් එහෙම වුනේ නැහැ. ඒ ඔරුවෙ නැගල මැරෙන්න යන කූඹි බේරුනා. මගෙ ඔරුවෙත් කූබි හිටියද ? උන් මැරුනද ? ඒ වුනාට මගෙ වහලෙ හින්ද කූඹි ගුලෙ කූබිනම් තෙමෙන්නෙ නැහැ. මම හිත හදා ගන්නවා.උදේ ආයෙමත් ලස්සනට ඉර පායලා. පිණි අස්සෙන් ඉර එක එක පාට හදලා. දේදුනු ගොඩක් ගස් වලට පාත් වෙලා වගේ. ඉස්කෝලෙ නිවාඩු. අපි උදේ ඉදන් රෑ වෙනකල්ම සෙල්ලම් කරන දවස. අම්මට නොපෙනෙන්න අක්කයි මායි හිමින්ම අම්මට නොපෙනෙන්න එලියට බැස්සා. රෑ වැස්සට මඩ වෙලා මිදුලෙ හැමතැනම. මඩ දැක්කම මතක් වෙන සෙල්ලම එක පාරටම මතක් වුණා. පස් එකතු කරලා පොල් කටු වලට ගෙනාව වතුර ටික ටික දාලා රොටි හදන්න වගෙ මඩ ගුලියක් අනාගත්තා. ඒවලින් හදන්න දේවල් ගොඩයි. මැටි පහන්, මැටි ළමයි, මැටි විස්කොතු මේ ඔක්කොම හදනවා. දැං මේවා වේලන්න ඕන. වැස්ස නැති කාස්ටක කාලෙටනම් වේලිච්ච තණකොළ තියනවා. දැං ඒව හොයගන්න අමාරුයි. ඉස්සරහ ගෙදර කිරි හරකා පැටියත් එක්ක ඉන්නවා පිදුරු ගොඩ උඩ. උස්සගෙන ආව පිදුරු ගුලිය අස්සෙ හදපු ඔක්කොම දේවල් තියල පිදුරු ගොඩට ගිනි තියනවා. පිදුරු ටික ඇවිලිලා ඔක්කොම පිච්චිලා මැටි නිර්මාණ අයින් කර ගත්තම ඒ සෙල්ලම ඉවරවෙනවා.
හිමින් සීරුවට වැහි වතුර පිරුණු වළවල් හොයන්න පටන් ගන්නෙ ඊට පස්සෙ. තව ළමයි හතර දෙනෙකුත් එනවා ඒ සෙල්ලමට. පාර දිගේ ගිහිං පාර ඉවරවෙන තැන තියන පොඩි කැලේ ඇතුලෙ වතුර වළවල් ගොඩක් හොයාගන්න පුළුවන්. එක එක්කෙනට එක එක වතුර වල ගානෙ. එහාට පනිනවා. මෙහාට පනිනවා. ගං වතුර ගලපු දවසට ලොකු අක්කල අය්යල එකතුවෙල කෙහෙල් කොට ඔරු පදින්නෙ මේ කැලෑවට එහායින් තියන කුඹුරු යායෙ. එවා දිහා බලන්න විතරයි අපිට පුලුවන්. අපිව එක්කන් යන්නෙ නැ ඔරු පදින්න.. වතුර වලවල් පැනලා ඇති වුනාම වෙල දිගේ දුවල ගිහින් ඕවිටට පනිනවා. ඒකත් පොඩි කැලයක්. කජු, පේර, වෙරළු ගස් ඔක්කොගෙම තියන ජාති කඩාගෙන කනවා. ඉර මුදුන් වෙනවා. බඩගින්න වැඩි වෙනවා. බඩවැටිය දිගේ තියන බිම් පොල් පදුරු හොය හොය බිම්පොල් කකා කට්ටියම ගෙදර එනවා.
වෙලාව දෙකට විතර ඇති. ටී.වී. බලන්නත් තව වෙලාව තියනවා. 4.30 වෙනකල් ටී.වී. එකේ තියෙන්නෙ ෂෝ ගාන ඩොට් ගොඩක් විතරයි. අම්මගේ කළු සායක් දිග කොන්ඩෙ වගේ ඔලුවෙ දාගෙන පොඩි කෝටු කෑල්ලකුත් අරගෙන ගේ ඉස්සරහ තියන මල් පාත්ති වල මල් ගස් වලට ටීච කෙනෙක් වෙන සෙල්ලම කරනවා. එක එක ගහක් ලගට ගිහින් කතා කරනවා. එයාලත් කතා කරලා මට උත්තර දෙනවා. මම එයාලට ඉස්කොලෙ ටීච කියල දුන්නු පඩම් ඔක්කොම උගන්නනවා. එහාට මෙහාට වැනි වැනී ඉන්න ගස් දැක්කම මම හිතනව මගෙ පාඩමට එයාල ගොඩක් කැමතියි කියලා. එයලා මටත් ගොඩක් කැමතියි. හවස් වෙනකල් ගස් එක්ක කතා කර කර හිටිය මගෙ හිත මට කියනවා.
ගස් වැල්, ඇළ දොළ, සත්තු එක්ක හැප්පි හැප්පි ජීවිතෙ මහා පෙරළියක් කරගෙන ළමා කාලෙ ඉවරවෙලා. පියවි සිහිය එනකොට පරණ කුස්සියවත් කුඹි රංචුවවත් එතන නැ. කරටිය නොපෙනෙන පුවක් ගහත් මොනවා හරි වැඩකට අරන් ඇති. ඒ වෙනුවට අලුත් විදියට හැමදේම අලුත් වෙලා. තාමත් වහින්නෙ ඉස්සර වැස්සමයි. ඒත් මෙ ළමාකාලයෙ ළමයින්ට වැස්ස එක්ක ජීවත් වෙන්නවත් කැලේ රංචු ගැහෙන්නවත් පරිසරය විදින්නවත් වෙලාවක් නැහැ. වෙලාවක් තිබ්බත් එහෙම විදින්න තරම් පරිසරයක් ඉතුරුවෙලත් නැහැ. ඔවුන්ගෙ මතකයන් එක්ක ළමාවිය සුන්දරයි කියන්න තරම් දෙයක් එයාලට ඉතුරු වෙන්නෙත් නැහැ."



